රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සපිරීම සඳහා 120,000කට අධික පිරිසක් අලුතින් බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කරයි.
මෙම අලුත් බඳවා ගැනීම් යටතේ ගුරු සේවය සඳහා 30,000කට ආසන්න පිරිසක් එක්කර ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ තරග විභාග කඩිනමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. විභාගයෙන් සමත්වන පාර්ශ්ව සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය මූලික සංවිධාන කටයුතු මේ වන විටත් අවසන් කර තිබේ.
එමෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු සපිරීම සඳහා පුද්ගලයින් 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ද මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. ඊට අදාළ විභාග සහ සම්මුඛ පරීක්ෂණ කටයුතු නිමා කර ඇති බැවින්, සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් සඳහා පත්වීම් ලිපි පිරිනැමීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
පසුගිය 2025 වසරේදී ද උපාධිධාරීන් ඇතුළු සුදුසුකම් ලත් තරුණ තරුණියන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට අලුතින් එක්කරගත් බවත්, ඊට අමතරව මෙම 120,000ක දැවැන්ත බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


