රාජ්‍ය සන්තක වාහනයක් සිය පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් අවභාවිත කරමින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇති බවට තීන්දු කරමින්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
එම තීන්දුවට අනුව, සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට හිටපු අමාත්‍යවරයාට අධිකරණය නියෝග කර ඇත. ඉන් රුපියල් 1,664,334.93ක ප්‍රමාණයක් එළඹෙන මාසය ඇතුළත ගෙවා අවසන් කළ යුතු අතර, ඉතිරි මුදල ඉදිරි මාස දෙක තුළ සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට කාලය ලබා දී තිබේ.
ඊට අමතරව, මෙලෙස අයථා ලෙස භාවිත කළ රාජ්‍ය වාහනයේ ඡායාරූපයක් ද සහිතව සමස්ත ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමේ විශේෂ නිවේදනයක් පළ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
එම සමාව අයැදීමේ ප්‍රකාශය පිටු භාගයක ඉඩකඩක් වෙන් වන පරිදි සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් යන ප්‍රධාන පුවත්පත් ත්‍රිත්වයේම මුල් පිටුවේ ඉදිරි මාසය ඇතුළත පළ කළ යුතු බව අධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.


