ජනාධිපති සමාව බලරහිත වීමෙන් පසු අධිකරණය මඟහැර සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කළුතර, තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (03) රාත්‍රියේ උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ඊයේ (04) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඥානසාර හිමියන්ට මෙලෙස යළිත් අත්අඩංගුවට පත්වීමට සිදුවූයේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ මැයි 23 වනදා උන්වහන්සේට ලබාදී තිබූ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නීතිය ඉදිරියේ බලරහිත කිරීමත් සමඟය. ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.
මෙලෙස පොදු සමාව අහෝසි වුවද ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි. අදාළ මෝසම ඉකුත් 29 වැනිදා කැඳවූ අවස්ථාවේදීත් නොතීසි නිකුත් වී සිටි ඥානසාර හිමි අධිකරණය මඟහැර සිටි බැවින්, උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කළ අභියාචනාධිකරණය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
මෙම නඩුවට පසුබිම් වන්නේ 2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණයේ අවසරයකින් තොරව කතා කරමින් අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමයි. එම චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට 2018 මැයි 24 වැනිදා අභියාචනාධිකරණය මඟින් වසර 6කින් ගෙවී යන පරිදි වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබුණි.
ඒ අනුව, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඥානසාර හිමි අදාළ නීතිමය ක්‍රියාමාර්ග සඳහා අද දිනයේදී අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.


