බන්ධනාගාරය තුළ ව්යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන තමන්ටම වෙඩි තබාගත් බව ඇඟවෙන ව්යාජ කතාවක් සමාජගත කිරීම ආණ්ඩුවේ පාර්ශ්වයන්ගේ අපේක්ෂාව වී තිබූ බවත්, බන්ධනාගාර නිලධාරීන් හරහා මෙම කුමන්ත්රණයේ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ලංකා ඉතිහාසයේ මීට පෙර අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා බරපතළ වැඩ සහිතව සිරදඬුවම් විඳ ඇති නමුත්, කිසිදු පාලකයෙකු උන්වහන්සේලාගේ සිවුර ඉවත් කිරීමට කටයුතු නොකළ බව පෙන්වා දුන් මහාචාර්ය හිමියන්, ඥානසාර හිමි මීට පෙර සිරගත වූ අවස්ථාවේදී පවා එවැනි දෙයක් සිදු නොවුණු බව සිහිපත් කළහ.
අතීතයේ සිරගත කෙරුණු හේන්පිටගෙදර ඥානසීහ හිමියන් බන්ධනාගාරය තුළ සිවුරු පිටින්ම වැඩ වෙසෙමින් ග්රන්ථ 18ක් රචනා කළ බවත්, උන්වහන්සේ රචිත ‘ගාමිණී චරිතං’ පාලි පද්ය කෘතියට රාජ්ය සාහිත්ය සම්මානය පවා හිමි වූ බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ. එමෙන්ම නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ උඩකැන්දවල සරණංකර හිමියන් මැගසින් බන්ධනාගාරයේ ගත කළ අරගලකාරී ජීවිතය උන්වහන්සේගේ ‘සටනක සටහන්’ කෘතිය මඟින් මනාව පැහැදිලි වන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
එවන් ඓතිහාසික පසුබිමක් තිබියදී ඉතිහාසය නිසි ලෙස හදාරන්නේ නැතිව පක්ෂ කාර්යාලවලින් ලියා දෙන පිටපත් කියවන මෙවැනි පාලකයෙකු මෙරට ජනාධිපති ධුරයට පත්වීම කනගාටුදායක බව පැවසූ උන්වහන්සේ, මෙවැනි විනාශකාරී ක්රියාමාර්ග වහාම නතර කළ යුතු බවද අවධාරණය කර සිටියහ.


