ශ්රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්රංශ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල, කදුරුපොකුණ ප්රදේශයේ විහාරස්ථානයක වැඩවසන භික්ෂූන් වහන්සේ නමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විදේශික තරුණිය පසුගිය ඔක්තෝබර් 02 වැනිදා අදාළ විහාරස්ථානය වෙත ගොස් ඇති අතර, එහිදී සැකකාර හිමිනම විසින් ඇයව පාළු ගොඩනැගිල්ලක් වෙත රැගෙන ගොස් මෙම අතවරයට තැත් කර ඇති බවට ඇය චෝදනා කරයි. දැඩි පරිශ්රමයක් යොදා ඉන් මිදී පලා ආ තරුණිය, පසුව සිය ජර්මානු ජාතික සහකරුද සමගින් තංගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ගොස් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇත.
කෙසේ වෙතත්, අදාළ භික්ෂූන් වහන්සේ මෙම චෝදනාව ප්රතික්ෂේප කරන අතර, උන්වහන්සේ පවසා ඇත්තේ තමන් සිවුර සකස් කිරීමට යාමේදී අත්වැරදීමකින් ඇයගේ ශරීරයේ ස්පර්ශ වූ බවත්, කිසිදු ආකාරයක අතවරයක් සිදු නොකළ බවත්ය. මේ අතර, මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට තමන්ට බලපෑම් එල්ල වූ බවද විදේශික යුවළ විසින් වැඩිදුරටත් චෝදනා කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තංගල්ල පොලීසිය විසින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා විසින් සැකකාර හිමිනම ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. මෙම සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.


