පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වෙන පාගමනට සහාය දුන් අයෙකුට පහරදුන් බවට සමාජ මාධ්ය ඔස්සේ පළ වූ වීඩියෝව අසත්ය බව පොලීසිය පවසනවා.
පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් මෙම වීඩියෝව සමාජ මාධ්යයට මුදාහැර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළා.
පොලීසියට අනුව, ඊයේ (14) යක්කල, වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී ලොරි රථයක ගමන් කළ පුද්ගලයෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර රථවාහන තදබදයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව තිබෙනවා.
වතුපිටිවල රෝහලේ ප්රතිකාර ලබන ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා ප්රකාශ කර ඇත්තේ තමන් අදාළ පාගමනට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, රථවාහන ආරවුලක් හේතුවෙන් යතුරුපැදිකරු හෙල්මටයකින් තමන්ට පහරදුන් බවත්ය. ගැටුමට සම්බන්ධ යතුරුපැදිකරු ද ගම්පහ රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.
මෙම පෞද්ගලික ආරවුල පාගමනට සම්බන්ධ සිදුවීමක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට පොලීසිය චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


