මෙරට භික්ෂූන් වහන්සේලා සිය ආගමික හා සමාජීය සේවාවන් සිදුකරන්නේ වැටුපක් හෝ වේතනයක් ලබමින් නොව නොමිලේ බවත්, මාලිමාවට සම්බන්ධ යූටියුබ් නාලිකා මඟින් භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක මඩ ප්රහාර එල්ල කරන බවත් සිරි සමන්තභද්ර හිමි පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය. භික්ෂූන් වහන්සේලා විශ්වවිද්යාල අධ්යාපනය හරහා උපාධි ලබාගෙන ඇත්තේ සමාජයට සේවය කිරීමේ අරමුණින් බව උන්වහන්සේ මෙහිදී සඳහන් කළේය.
මීට මාස 5කට හෝ 6කට පමණ පෙර තමන්ට දරුවෙකු සහ බිරිඳක් සිටින බවට චෝදනා කරමින් විවිධ මඩ ප්රහාර එල්ල කළ බවත්, එම චෝදනා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීමට පවා තමන් සූදානමින් සිටියද චෝදනා එල්ල කළ පුද්ගලයන් මේ වන විට මඟහැර ඇති බවත් උන්වහන්සේ පැවසීය. මෙවැනි මඩ ප්රහාරයන් සොයා බැලීමේදී ඒ පිටුපස සිටින්නේ මාලිමාවට සම්බන්ධ යූටියුබ් නාලිකා බවට තමන්ට පෙනී ගිය බවද උන්වහන්සේ චෝදනා කළේය.
මාලිමාවට සම්බන්ධ නොවන භික්ෂූන් වහන්සේලා “කහ කඩයින්”, “සංඝ පාතාලය” වැනි විවිධ නම්වලින් හඳුන්වා අපකීර්තියට පත් කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරන බව පෙන්වා දුන් උන්වහන්සේ, පැවිදි දිවියට එළඹි වසර 30ක කාලය තුළ ජනතාවගෙන් ලැබුණු පරිත්යාග පෞද්ගලික ප්රයෝජනයට හෝ ඥාතීන්ට ලබා නොදී අනාගත පරපුර වෙනුවෙන් සමාජ සේවයට යෙදවූ බවද වැඩිදුරටත් අවධාරණය කළේය.


