රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
එමෙන්ම උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ ය.
මෙම සිදුවීමට මුහුණ පෑ වින්දිත දැරිය මේ වන විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පවතින ළමා නිවාසයක ආරක්ෂිතව රඳවා තබා ඇති බව අධිකරණයේදී අනාවරණය විය. .
බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු උන්වහන්සේ දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසිය මඟින් පුළුල් විමර්ශන රැසක් සිදුකෙරුණු අතර එහිදී වින්දිත දැරිය ලබාදුන් සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පාදක කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තුව සෘජුවම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙනී සිටියේ ය.
නඩු විභාගය ආරම්භයේ සිටම වින්දිත දැරියගේ ආරක්ෂාව සහ මානසික සෞඛ්‍යය පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ අතර, ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධිකරණ නියෝග මත ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පවතින ආරක්ෂිත ළමා නිවාසයක ඇයව රඳවා තැබීමට පියවර ගැනුණි.


