2028 සහ 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වී, 2036 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී සිය ක්‍රීඩා දිවියට සමුදීමට බලාපොරොත්තු වන බව ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (17) ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා විසින් රචිත ‘අධිෂ්ඨානයේ රන් සලකුණ’ කෘතිය ජනගත කිරීමේ උත්සවයට එක්වෙමින්.
එහිදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ රුමේෂ් තරංග කිසිවෙකුගේ පෞද්ගලික අයිතියක් නොව ශ්‍රී ලංකාවට අයත් ජාතික සම්පතක් ලෙස සැලකිය යුතු බවයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගෙන, මෙරට ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.


