එංගලන්ත සංචාරයේ පළමු එක්දින තරගයේදී නියමිත කාල සීමාව තුළ පන්දුවාර යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ සියලුම ක්රීඩකයින්ට මෙම දඩය පනවා තිබේ. තරගයේදී ලබාදුන් අමතර කාලයන් සලකා බැලීමෙන් අනතුරුව ද ශ්රී ලංකා පිල නියමිත පන්දුවාර ප්රමාණයට වඩා පන්දුවාර 3ක් පිටුපසින් සිටින බවට ICC තරග තීරක ජෙෆ් ක්රෝව් මහතා නිගමනය කර ඇත.
අවම පන්දුවාර වේගය පවත්වාගෙන යාම පිළිබඳ ICC චර්යාධර්ම සංග්රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාලයට වඩා අඩුවෙන් යවන සෑම පන්දුවාරයක් සඳහාම ක්රීඩකයකුගේ තරග ගාස්තුවෙන් 5% බැගින් දඩ නියම වේ. ඒ අනුව පන්දුවාර 3ක් ප්රමාද වීම වෙනුවෙන් මෙම 15%ක දඩ මුදල පනවා ඇත.
ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් අදාළ වරද පිළිගනිමින් නියම කරන ලද දඩයට එකඟතාව පළ කර ඇති බැවින් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැත. තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ වේන් නයිට්ස් සහ ග්රැහැම් ලොයිඩ් ඇතුළු තෙවැනි විනිසුරු ඇඩ්රියන් හෝල්ඩ්ස්ටොක් සහ සිව්වැනි විනිසුරු ජේම්ස් මිඩ්ල්බෲක් යන මහත්වරුන් විසින් මෙම චෝදනාව ඉදිරිපත් කර තිබුණි.


