ඒකාධිපති පාලනයකට මුලපුරන බව පවසමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවක් අද (24) පෙරවරුවේ බත්තරමුල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා, යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම උද්ඝෝෂණය අද පෙරවරු 9.00 ට බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම විරෝධතාව සඳහා එක්වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමස්ත ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර ඇත. රජය විසින් ගෙන ඒමට උත්සාහ කරන නව ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්රජාතන්ත්රවාදය බරපතළ ලෙස අනතුරකට ලක්වන බව පක්ෂයේ ප්‍රධාන තර්කය වී තිබේ.
මේ අතර, මෙම විරෝධතාව සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රය තුළ යම් මතභේදාත්මක තත්ත්වයක් ද නිර්මාණය වී ඇත. ඒ අනුව, අද පැවැත්වෙන විරෝධතාවයට සහභාගී නොවීමට ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය තීරණය කර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, ඔවුන්ගේ මූලික අරමුණ වූයේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ ප්රජාතන්ත්රවාදී බලවේග එකම පොදු වේදිකාවකට ගෙනැවිත් පුළුල් මහජන බලයක් ගොඩනැගීම වුවත්, වර්තමානයේ මෙම විරෝධතාවය තුළින් එය අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බවයි
මෙම විරෝධතාවය පොදු අරමුණක් කරා ගමන් නොකිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනගාටුව පළ කරන බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
කෙසේ වෙතත්, අද දින පැවැත්වෙන මෙම විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අවට ප්‍රදේශයේ යම් රථවාහන තදබදයක් ද ඇතිවිය හැකි බව අපේක්ෂා කෙරේ.


