අයතා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කර මුදල් විශුද්ධිකරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය.
මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
කෙසේ වෙතත්, නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටියාය. ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් ඇයගේ නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.
ඉදිරිපත් වූ එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුකරය ලබන නොවැම්බර් මස 03 වනදා යළි කැඳවීමට නියම කළේය.
මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය. අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57 කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් විත්තිකරුවන් විසින් අදාළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.


