අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම පෙත්සම් ද්විත්වය ගොනුකර තිබුණේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි.
ඉන් එක් පෙත්සමක් ගොනුකර තිබුණේ, ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි.
එසේම, සිරිල් ගාමිණී පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක අන්තර්ගත කරුණු මගින් ද අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් අනෙක් පෙත්සම ගොනුකර තිබුණි. කෙසේ වෙතත්, අදාළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකම විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට මෙලෙස තීරණය කර ඇත.


