නව වටයකින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන් තෝරාගැනීමේ මූලික කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත්, ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත නව ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට රජය පියවර ගන්නා බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව ලැයිස්තුව ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඊට ඇතුළත් වීමට සුදුසුකම් නොලත් හෝ යම් අසාධාරණයකට ලක්වූ ඕනෑම අයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ අවස්ථාව හිමිවන බවයි.
මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් විශේෂ නැවත සමීක්ෂණ ක්‍රියාවලියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි. එහි පළමු සහ දෙවන අදියරයන් යටතේ ලැබී තිබූ සියලුම අයදුම්පත් සහතික කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර, මෙම මාසය අවසන් වීමට පෙර එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වාර්තා වන දත්තවලට අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව පසුගිය 2023 වසරේදී 1,773,445ක් ද, 2024 වසරේදී 1,761,116ක් ද ලෙස සටහන්ව තිබිණි. 2025 වසර තුළ එම සංඛ්‍යාව 2,439,917ක් දක්වා විශාල වශයෙන් ඉහළ ගිය නමුත්, විවිධ හේතූන් මත මේ වසර වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,251,522ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
මීට පෙර අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ සහ සංක්‍රාන්ති යන ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ අස්වැසුම සහනාධාර ලබා දීම සිදු කෙරුණි. කෙසේ වෙතත්, රජයේ සැලසුමට අනුව සංක්‍රාන්ති කාණ්ඩය සඳහා ගෙවීම් පසුගිය දෙසැම්බර් මාසයේදීත්, අවදානමට ලක්වූ කාණ්ඩය සඳහා ගෙවීම් පසුගිය ජූනි මාසයේදීත් අවසන් කර තිබේ.
ඒ අනුව, මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනු ලබන්නේ අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ දෙක සඳහා පමණි. කෙසේ වෙතත්, නව වටයේ සමීක්ෂණ කටයුතු සම්පූර්ණ වීමෙන් පසු නිකුත් කෙරෙන නව නාමලේඛනය හරහා සැබවින්ම සුදුසුකම් ලබන ජනතාවට ඉදිරියේදී සහනාධාර හිමිවනු ඇත.


