කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.
මාර්ග තදබදය බහුලව පවතින කාර්යබහුල වේලාවන් ඉලක්ක කරගනිමින් මෙම නීතිය ක්‍රියාත්මක වන අතර, ඒ අනුව උදෑසන 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට 7.00 දක්වාත් බස් ප්‍රමුඛතා මංතීරු නීතිය බලාත්මක වනු ඇත.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මූලික අදියරේදී මෙම වැඩපිළිවෙළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර, මෙම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය උල්ලංඝනය කරමින් රිය පදවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරීන් වෙත මේ වන විටත් විශේෂ උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව නියමිත වේලාවන් තුළදී බස් මංතීරුවල අනවසරයෙන් ධාවනය කරන අනෙකුත් වාහන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මෙම වැඩපිළිවෙළ හරහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ජනතාවට තම ගමනාන්ත වෙත ප්‍රමාදයකින් තොරව ළඟාවීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


