ගොවිජනතාවට සහන රැසක් ලබාදී ඇති බැවින් පොහොර සැපයුම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, සියලු වගාවන් සඳහා අවශ්ය පොහොර රැගත් නැව් තුනක් පැමිණෙමින් පවතින බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
වී වගාව සඳහා අවශ්ය TSP (ත්රිත්ව සුපර් පොස්ෆේට්), MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) සහ යූරියා පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගත යුතු නැති බවත්, දැනට වී වගාව සඳහා පොහොර යෙදීම ගැටලුවක් නොවන බවත් නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම, පොල් වගාව සඳහා පොහොර සහනාධාර, පොල් පැළ ලබාදීම සහ නව පොල් වගා ආරම්භ කිරීම සඳහා සහනාධාර ඇතුළු වැඩසටහන් රැසක් ක්රියාත්මක වන බවද පැවසූ ඒ මහතා, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා තමන්ට ආසන්නතම ගොවිජන සේවා මධ්යස්ථානය වෙත යොමුවන ලෙස ගොවිජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අදාළ පොහොර තොග සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගනිමින් ගොවිජනතාව අනියත බියකින් තොරව වගා කටයුතු සිදුකරගෙන යා යුතු බව නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


