අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා ශ්රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වීසා ලබා ගැනීමේ අරමුණින් ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත්, එසේ කළහොත් අමෙරිකානු වීසා ලබාගැනීමේ අවස්ථාව සදහටම අහිමි විය හැකි බවත් එහි දැඩිව අවධාරණය කර ඇත.
එම නිවේදනයට අනුව, අමෙරිකාවේ සංචාරය කරන පුද්ගලයින් තම ගමන් වියදම් මෙන්ම, අනපේක්ෂිත ගමන් බාධා හෝ හදිසි වෛද්ය අවශ්යතාවන්හිදී ඊට මුහුණ දීමට ප්රමාණවත් මූල්ය ශක්තියකින් යුක්ත වීම අනිවාර්ය වේ. සංචාරකයින් ලෙස එක්සත් ජනපදයට ඇතුළු වීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට තමන්ට අවශ්යතාවක් නොමැති බව, වීසා සම්මුඛ පරීක්ෂණයේදී සැබෑ සාක්ෂි සහිතව තහවුරු කිරීමට අයදුම්කරුවන් සූදානම් විය යුතු බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
මේ අතර, වීසා සම්මුඛ පරීක්ෂණයේදී කිසිදු අයුරකින් ව්යාජ හෝ කූට ලියකියවිලි ඉදිරිපත් නොකරන ලෙස නිවේදනය මගින් දැඩිව දැනුම් දී තිබේ. යම් හෙයකින් එවැනි ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් අනාවරණය වුවහොත් එය බරපතළ වංචාවක් ලෙස සැලකේ. ඒ හරහා දැනට පවතින වීසා බලපත්රය අහිමි වීමට අමතරව, අනාගතයේදී කිසිදු දිනක අමෙරිකානු වීසා ලබාගැනීමට නොහැකි වන පරිදි අදාළ පුද්ගලයින්ව ස්ථිරවම නුසුදුස්සන් බවට පත් කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
එබැවින්, ව්යාජ ක්රමවේදයන්ගෙන් බැහැරව මනා සූදානමකින් සහ නිවැරදි ලියකියවිලි සහිතව වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස තානාපති කාර්යාලය මහජනතාවට දැනුම් දෙයි.


