2006 වසරේ සිදුවූ ආන්දෝලනාත්මක මිග්-27 ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා අද (15) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
2002 සිට 2006 දක්වා ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඩොනල්ඩ් පෙරේරා මහතා, අදාළ මිග්-27 ගනුදෙනුව සාකච්ඡා කර අවසන් කළ සමයේ ගුවන් හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබීම හේතුවෙන් ඔහුගෙන් ලබාගත් ප්‍රකාශය විමර්ශනයේදී වැදගත් වන බව සඳහන්. මෙම ප්‍රකාශය ලබාදීම සිදුවන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන්ද මෑතකදී මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවයි.
2006දී යුක්රේනයෙන් මිග්-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන අතර, ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතා සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ගනුදෙනුවට අදාළ මුල් පිටපත් ඇතුළු ලේඛන කිහිපයක් අස්ථානගතවීම සහ ගනුදෙනුවට සම්බන්ධ මූල්‍ය ගනුදෙනු පිළිබඳවද විමර්ශන සිදුකරන බව සඳහන්.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, හිටපු ගුවන් හමුදාපතිවරුන් වන ඩොනල්ඩ් පෙරේරා සහ රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබීමත් සමඟ දශක දෙකකට ආසන්න කාලයක් පැරණි මිග් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනය යළිත් සක්‍රීය වී තිබෙනවා.


