මෙම එල්නිනෝ බලපෑම 2027 පෙබරවාරි දක්වා පැවැතීමේ සම්භාවිතාව 100% ක් බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි. අද 16 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, නැඟෙනහිර පැසිෆික් සාගර මතුපිට උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 3.6 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන් නිරීක්ෂණය කරනු ලබන සමුද්‍රීය කලාපය තුළ පමණක් ඉකුත් අගෝස්තු මාසයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.8 කින් ඉහළ ගොස් ඇති බවද ඔහු අනාවරණය කළේය.
සාමාන්‍යයෙන් මුහුදු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව පසුකිරීම ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ලෙස වර්ගීකරණය කෙරේ. ජාත්‍යන්තර කාලගුණික වාර්තා පෙන්වා දෙන්නේ එළඹෙන ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මෙම තත්ත්වය උපරිම මට්ටමට ළඟා වනු ඇති බවයි. එමෙන්ම 2027 වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වන විට ලෝක උෂ්ණත්වය මෙතෙක් පැවැති වාර්තා සියල්ල අභිබවා යාමේ හැකියාවක් පවතින බවද සඳහන් වේ.
මෙම ප්‍රබල එල්නිනෝ තත්ත්වය 2027 වසරේ පෙබරවාරි මාසය අවසන් වන තෙක් සක්‍රීයව පැවැතීමේ 100% ක සම්භාවිතාවක් ඇති බවට පුරෝකථනය කර ඇත.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැති වියළි කාලගුණය සහ නියං තත්ත්වය අවසන් වෙමින් පවතින අතර, ඉදිරි කාලසීමාවේදී අධික තද වැසි, හදිසි ගංවතුර සහ නායයෑම් වැනි කාලගුණික ආපදා කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් සූදානම්ව සිටින ලෙස කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.


