ආසියානු කලාපයේ රටවල් සඳහා පැවැත්වෙන 15 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ජපාන ඉහළ පෙළේ බදු සමුළුවට සහභාගී වීම පිණිස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සුවිශේෂී සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදී හෙට (18) සහ අනිද්දා (19) යන දෙදින පුරා පැවැත්වීමට නියමිත අතර, ඊට කලාපීය ප්‍රතිපත්ති සම්පාදකයින්, ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන් රැසක් සහභාගී වන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙවර සමුළුවේදී ආසියානු කලාපයේ බදු ප්‍රතිපත්ති සහ බදු පරිපාලනය සම්බන්ධ ප්‍රධාන කරුණු රැසක් කෙරෙහි විශේෂ අවධානයක් යොමුවීමට නියමිතව ඇත. විශේෂයෙන්ම, දේශීය ආදායම් රැස්කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, බදු පරිපාලනය වඩාත් විධිමත් කිරීම සහ ජාත්‍යන්තර බදුකරණයේදී මතුවන නව අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් සහභාගී වන රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙහිදී පුළුල් අවස්ථාවක් සැලසෙනු ඇත.
ඊට අමතරව, ආසියානු කලාපයේ රටවල දැනට ක්‍රියාත්මක වන බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ මෙම සමුළුවට සහභාගී වීම ඉතා වැදගත් වේ. ඒ හරහා ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ආදායම් උත්පාදන වැඩපිළිවෙළ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන වැදගත් බදු ප්‍රතිපත්තිමය කරුණු රැසක් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාට මෙහිදී සුවිශේෂී අවස්ථාවක් හිමිවනු ඇත.


