ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති නවතම දේශපාලනික අර්බුදය මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
නව වෙළෙඳපොළ දත්ත වලට අනුව, මේ වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.47 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 1.08% ක කැපී පෙනෙන ඉහළ යාමකි. ඊට අමතරව, BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 105 ක් ලෙස සටහන් වී ඇති අතර, එය 1.60% කින් මිල ඉහළ යාමක් බව සඳහන් වේ.
මෙලෙස හදිසියේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම සඳහා ඍජුවම බලපා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වයයි. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකා එක්සත් ජනපදයට නව සාම ගිවිසුමක් යෝජනා කර තිබිණි.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම සාම ගිවිසුම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.


