දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මුදල් ඉපයීමේ පහසුකම් (content monetization) හේතුවෙන් දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ විශාල වශයෙන් පළ කිරීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා. දරුවන්ගේ දක්ෂතා හෝ දෛනික ක්‍රියාකාරකම් පෙන්වීමේ මුවාවෙන් ඇතැම් පුද්ගලයන් සහ ආයතන එම අන්තර්ගත වාණිජ අරමුණු සඳහා භාවිත කරන බවටද තොරතුරු ලැබී ඇති බව සඳහන්.
දරුවන්ගේ දෛනික ජීවිතය, ගමන් බිමන් සහ පෞද්ගලික තොරතුරු ඇතුළත් වීඩියෝ නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එක් කිරීම ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවට අවදානමක් විය හැකි බව අමාත්‍යාංශය අවධාරණය කරනවා.එමෙන්ම අන්තර්ජාලයට එක් කරන ඡායාරූප සහ වීඩියෝ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් වෙනස් කර අසභ්‍ය හෝ නුසුදුසු අන්තර්ගත නිර්මාණය කිරීමට යොදාගත හැකි බවටද මෙයින් අනතුරු අඟවමින් දන්වා තිබෙනවා.
ඒ අනුව, සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය හෝ ආදායම් ලබාගැනීම වෙනුවෙන් දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව නොසලකා නොහරින ලෙස අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.


