හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.
රාජ්ය මුදල් අවභාවිත කළ බවට සැකපිට අදාළ නඩුව ගොනුකර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර, ඊට අදාළ විමර්ශන උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව මීට පෙර පැවති නඩු වාරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබුණි.
ඒ අනුව, මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සහ උපදෙස් අද දින අධිකරණයට දැනුම් දීම සඳහා මෙලෙස නඩුව කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් නියෝග කර ඇත. නීතිපතිවරයාගේ ස්ථාවරය මත අද දින නඩුවේ ඉදිරි කටයුතු තීරණය වනු ඇත.


