එයාර්බස් සිදුවීමට අදාළව එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (30) නියම කළේය.
ඒ අනුව, සැකකාර නාමල් රාජපක්ෂ මහතා සඳහා රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කිරීමට අධිකරණය කටයුතු කළේය.
මීට අමතරව, මන්ත්රීවරයාට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්රාත්වරයා, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය. නඩුවේ සාක්ෂිකරුවන්ට කිසිදු අයුරකින් බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද නාමල් රාජපක්ෂ මහතා වෙත තවත් විශේෂ ඇප කොන්දේසියක් ලෙස පනවනු ලැබීය.


