වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ විවිධ පැමිණිලි 9,613ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එම අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, අදාළ කාලසීමාව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 1,554කි.
මේ අතර, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 364ක් සහ බරපතළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 114ක් අධිකාරිය වෙත ලැබී ඇත. ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 169ක්, ලිංගික සූරාකෑම සම්බන්ධ පැමිණිලි 8ක් සහ ළමුන් වෙළෙඳාම සම්බන්ධ පැමිණිලි 40ක් ද ඒ අතරට ඇතුළත් වේ.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 37ක් වාර්තා වී තිබේ.
ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,889ක් ලැබී ඇති අතර, යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 51ක් සහ ළමා විවාහ සම්බන්ධ පැමිණිලි 9ක් ද වාර්තා වී ඇත. මීට අමතරව, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 99ක් අධිකාරිය වෙත ලැබී තිබේ.
ළමුන්ට එරෙහි සයිබර් හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 196ක් සහ ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 46ක් ද එම මාස නවයක කාලසීමාව තුළ වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

