එයාබස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් යටතේ අධිචෝදනා කෙටුම්පත් කර අවසන් බව අද (13) අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට ප්‍රකාශ කළේ, මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අගවිනිසුරුවරයාගෙන් අද හෝ හෙට දිනයේ අනුමැතිය ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
ඒ අනුව, නාමල් රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අවසන් දිනය අද විය හැකි බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, විමර්ශන අවසන් වූ පමණින් සැකකරුට ඇප ලබාදීමට නෛතික ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දුන්නේය.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේ ඔහුගේ මව්පියන් දෙදෙනාම එකවර රෝහල්ගතව සිටීම සුවිශේෂී කරුණක් ලෙස සලකමිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික රෝහලකත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙත් ප්‍රතිකාර ලබන බව ඔවුහු දැනුම් දුන්හ.
එසේම, විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී තිබීමද ඇප ලබාදීම සඳහා තවත් සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙස විත්තිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පෙන්වා දුන්නේ වෙනත් නඩුවලදී මෙන් නොව, මෙම නඩුවේදී විමර්ශන සහ අධිචෝදනා සකස් කිරීම ඉතා කඩිනමින් අවසන් කර ඇති බැවින් එය ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණක් ලෙස පිළිගත නොහැකි බවයි.
මව්පියන්ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා, ඒ බව සනාථ කිරීමට කිසිදු වෛද්‍ය වාර්තාවක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළේය. මාධ්‍ය වාර්තා මත පමණක් පදනම්ව එය නෛතික වශයෙන් සුවිශේෂී කරුණක් ලෙස භාරගත නොහැකි බවද ඔහු පැහැදිලි කළේය.
නඩු විභාගය නිමාවන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට අදාළ නීතිමය ප්‍රතිපාදන පවතින බැවින්, හුදෙක් විමර්ශන අවසන් වී ඇති බව පදනම් කරගනිමින් ඇප ප්රදානය කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර, මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයකට යොමු කිරීමට නියමිත පසුබිමක, නඩුවේ පස්වැනි සැකකරු ලෙස ‘බිස් සොලියුෂන්’ සමාගමද අද දිනයේදී නම් කරන බව පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.


