ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ World Athletics Ultimate Championship පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංගගේ හානියට පත් හෙල්ල කට්ටල සඳහා වන්දි මුදලක් ගෙවීමට තුර්කි ගුවන් සේවය එකඟ වී තිබේ. සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුවන් සමාගම සිය කණගාටුව පළ කර ඇති අතර, ඒ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි.
ඔලිම්පික් සහ ලෝක ශූරයන් ඇතුළු ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් 8 දෙනෙකු තරග වැදුණු මෙම ප්‍රබල තරගාවලියේදී මීටර් 91.09ක ප්‍රබල දක්ෂතාවක් දක්වමින් රුමේෂ් තරංග රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. එම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 150,000ක, එනම් රුපියල් කෝටි 5කට ආසන්න තිළිණ මුදලක්ද හිමි විය.
කෙසේ වෙතත්, ශූරතාව දිනාගෙන පෙරළා දිවයිනට පැමිණි ගුවන් ගමනේදී රුමේෂ් තරංග ජයග්‍රහණ සඳහා භාවිත කළ හෙල්ල පහම (5) බිඳී ගොස් තිබිණි. හානියට පත් වූ හෙල්ල අතර බුඩාපේස්ට්හිදී මීටර් 91.09ක් සහ ස්විට්සර්ලන්තයේ සුරීච්හිදී මීටර් 92.07ක දුරක් වාර්තා කිරීමට ඔහු භාවිත කළ විශේෂිත හෙල්ලද ඇතුළත් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රුමේෂ් තරංග විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අදාළ ගුවන් සමාගමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
මේ අතර, අදාළ ගුවන් සමාගමට එරෙහිව නිල වශයෙන් කරුණු වාර්තා කර ඇති බවත්, අපහසුතාවට පත් රුමේෂ් තරංග වෙත කඩිනමින් අලුත් හෙල්ල කට්ටලයක් ලබාදීමට කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.


