නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව සිදු කරන ලද මෙම පත්වීම්වලට අදාළ ලිපි භාරදීම අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගී වී සිටියේය.
මෙසේ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇත්තේ අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරීන් වන යාපනය දිසා විනිසුරු පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ කොළඹ දිසා විනිසුරු ඤාණේස ලලිත් කන්නන්ගර මහතා ය.
ඊයේ (22) දින පළ වූ ඇතැම් වාර්තාවල සඳහන් වූ පරිදි මෙම නිලධාරීන් තිදෙනා අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා නිර්දේශ කර නොමැති අතර, අභියාචනාධිකරණයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත්තේ නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා පමණි.


