Saturday, February 28, 2026
25.1 C
Sri Lanka

ජනපති දුන් පොරොන්දු ඉටු වෙලාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30 න් පොරොන්දු 10ක් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉටුකර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනය කරයි.

වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ ඉන් තවත් පොරොන්දු 10 ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
මෙම පොරොන්දු 10 න් 9ක මේ වනවිට කිසිඳු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බවත් එක් පොරොන්දුවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය තව දුරටත් පෙන්වා දෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ඉටුකරනවාද, නැද්ද යන්න සොයා බැලීම සඳහා හඳුන්වා දුන් “අනුර මීටරය” නම් ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීන කිරීම නිකුත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය මෙම අදහස් පළ කර සිටි.

මෙම ඇගයීම මගින් 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කෙරෙන අතර, 2026 අයවැය දක්වා තොරතුරු ඇතුළත් බව නිවේදනයේ සඳහන් වෙයි.
මෙම විශ්ලේෂණය සම්පූර්ණ කරනු ලැබුවේ “දිට්වා” සුළි කුණාටුව මෙරටට කඩා වැදීමට පෙර බවද වෙරිටේ රිසර්ච් ආයතනය දක්වයි.

අනුර මීටරය යනු,

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කරන ලද පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය Manthri.lk වෙබ් අඩවිය ඔස්සේ “අනුර මීටරය“ (ANURA METER) ක්‍රියාත්මක කර තිබේ.

රජය හෝ වෙනත් අදාළ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු අනුව එම පොරොන්දුවල ප්‍රගතිය යාවත්කාලීන කෙරෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.

මෙම පොරොන්දු 30 මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මහජනතාවගේ ඉහළ උනන්දුවක් පවතින යෝජනා කෙරෙහි වන අතර එම යෝජනා ලෙස වෙරිටේ රිසර්ච් ආයතනය දක්වන්නේ,

ආර්ථික ප්‍රතිසංස්කරණ
ආණ්ඩුකරණය
දූෂණය මර්දනය
නීතිය හා සාමය
සමාජ ආරක්ෂණය යන අංශයන් ය.

ඉටු කර ඇති පොරොන්දු

01.දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට අවම වටිනාකම රු10,000ක සහනාධාර මුදලක් ලබා දීම

පෙර ආණ්ඩුව යටතේ ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන, ජාතික ජන බලවේග රජය විසින් ඉදිරියට පවත්වාගෙන යනු ලබන අතර, අඩු ආදායම්ලාභී පවුල් සඳහා අවම මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත.

2025 මාර්තු 24 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හඳුන්වා දී, 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සංශෝධන අනුව, ආධාර මුදල් පහත පරිදි සංශෝධනය කර ඇත.
A. “දුප්පත්” ප්‍රතිලාභීන්: මසකට රුපියල් 10,000 (රු. 8,500 සිට වැඩි කර ඇත)
B. “අතිශය දුප්පත්” ප්‍රතිලාභීන්: මසකට රුපියල් 17,500 (රු. 15,000 සිට වැඩි කර ඇත).

A සහ B යෝජනා ක්‍රම 2025 ජනවාරි සිට 2027 ජූනි දක්වා ක්‍රියාත්මක වේ. 2025 සැප්තැම්බර් 12 වන දින සිට ප්‍රතිලාභීන් ඔවුන්ගේ බැංකු ගිණුම් හරහා දීමනාව ලබා ගන්නා අතර, පවුල් 1,412,574ක් මෙම ගෙවීම ලබති. නොවැම්බර් මාසයට අදාළ ගෙවීම් නිකුත් කර ඇත.

2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල , අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 151.3ක් වෙන් කර ඇති අතර මෙය, 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 159.3ක වෙන් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යෑමකි.

02.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන බදු රහිත වාහන බලපත්‍ර ඉවත් කිරීම

සහනදායී බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීම සහ රේගුවෙන් නිදහස් කිරීම රජය විසින් අත්හිටුවන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළද, රජයේ නිල වාර්තා මගින් එය තහවුරු කර නොමැත.

2025 ජනවාරි 31 දිනැති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දුන්නේ, සහනදායී මෝටර් රථ ආනයන බලපත්‍ර යටතේ කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීමට හෝ රේගුවෙන් නිදහස් කිරීමට මින් ඉදිරියට ඉඩ නොදෙන බවයි.

2025 පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවේදී අයවැය කතාව පවත්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ එම වසර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හෝ වාහන ලබා නොදෙන බවයි. කෙසේ වෙතත්, අයවැය කතාවේ නිල ලිඛිත පිටපතෙහි සඳහන් වන්නේ ඉහළ නඩත්තු පිරිවැයක් සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම පිළිබඳව පමණක් වන අතර, මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර අත්හිටුවීම පිළිබඳව එහි පැහැදිලිව සඳහන් කර නොමැත.

පසුව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් මාධ්‍ය විසින් වාර්තා කළේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව තහවුරු කර ඇති බවයි. එහෙත් අද වන තෙක් එම ප්‍රකාශයන් සනාථ කිරීමට රජයේ නිල ලේඛනයක් ප්‍රකාශයට පත් කර නොමැත.

2025 නොවැම්බර් 7 වන දින, 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය: “රජය සතු දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත්, පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ බොහෝමයක්‌ පැරණි ඒවා වීමත්‌ හේතුවෙන්‌ ඒවා අළුන්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක්‌ දැරීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක්‌ වෙලා තිබෙනවා. මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තූ මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා..”

03.වසරක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම

දිවයිනේ පළාත් පාලන ආයතන 341ක් අතුරින් ආයතන 339ක් සඳහා සභිකයන් තේරී පත් කර ගැනීමට 2025 මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පවත්වන ලදී.

එලෙස මැතිවරණය පැවැත්වූ පළාත් පාලන ආයතන අතරට මහනගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළත් විය. දැනට පවතින නීතිමය කටයුතු හේතුවෙන් කල්මුණේ මහා නගර සභාව මෙයට ඇතුළත් නොවූ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය 2024 ඔක්තෝබර් 26 වන දින පවත්වා අවසන් කර තිබූ බැවින් එය ද ඇතුළත් නොකෙරිණි.

04.රාජ්‍ය ව්‍යවසායන්හි (SOE) මෙහෙයුම් පිළිබඳ පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීම

මෙම පොරොන්දුව, ‘ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් (SOES) 52 හි මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරීම’ ලෙස නිර්වචනය කරනු ලබයි.

වත්මන් පාලනයට පෙර, 2024 වසර දක්වා කිසිදු මූල්‍ය ප්‍රකාශනයක් ප්‍රකාශයට පත් කර නොතිබුණි. පසුව ඒවා ප්‍රකාශයට පත් කරන ලදී

2023 වර්ෂය සඳහා: ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 හිම වාර්තා නිකුත් කර ඇති අතර, ඉන් විගණනය කිරීමට ඉතිරිව ඇත්තේ වාර්තා 5ක් පමණි.

2024 වර්ෂය සඳහා: ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 හිම වාර්තා ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉන් 14ක් තවමත් විගණනය කර නොමැත.

2025 නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුවේදී 2026 අයවැය කතාව ඉදිරිපත් කරමින්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය: “රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කිරීමටන් අප පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායන්
සඳහා නව “රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක්” හඳුන්වා දීමට නියමිත අතර එම
පනත 2026 වසරේ මුල් භාගයේ දී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමගින්,
රාජ්‍ය ව්‍යාපාරවල අරමුණු පැහැදිලිව හඳුනාගැනීම, වාර්ෂිකව විගණනය කරන ලද ගිණුම්
ප්‍රකාශනය කිරීම සහ උචිත ණය ගැනීම් සඳහා පමණක් සීමා කිරීම සිදු වනවා.”

    05.අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක මාසික මූල්‍ය ආධාරයක්

    අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයන් සඳහා මාසිකව රුපියල් 10,000ක මුදලක් ගෙවනු ලැබේ.

    2025 මාර්තු 24 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට (අංක 2429/02) අනුව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ වැඩිවීම් සහ වෙනස්කම් සඳහා 2025 අප්‍රේල් 09 දින පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. අනුමත ගැසට් පත්‍රය යටතේ,ඇස්තමේන්තුගත ප්‍රතිලාභීන් 310,000කට මාසික මූල්‍ය දීමනාවක් ලෙස රුපියල් 10,000ක් ගෙවීමට නියමිත අතර, එය පෙර පැවති රුපියල් 7,500ක මුදලට වඩා වැඩිවීමකි. මෙම යෝජනා ක්‍රමය 2025 අප්‍රේල් සිට 2026 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ය.නොවැම්බර් මාසයේ ගෙවීම් දැනටමත් සිදු කර අවසන් ය.

    2025 නොවැම්බර් 07 දින පාර්ලිමේන්තුවේදී පැවති 2026 අයවැය කතාව අතරතුර, ජනාධිපතිතුමා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස එහි ක්‍රියාත්මක කිරීම තහවුරු කරමින්, “අස්වැසුම වැඩසටහන හරහා ආබාධ සහිත පුද්ගලයන් 140,000 ක් පමණ සඳහා රුපියල් 10,000 බැගින් වු සහනාධාරයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 19,000 ක ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය. තවද, දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා, එක් දරුවෙකුට රුපියල් 5,000 ක දිමනාවක් මාසිකව ලබා දීමට එක් වැඩසටහනක් සහ උසස් අධ්‍යාපනය ලබන අයට සහාය වීමට තවත් වැඩසටහනක් ලෙස අතිරේක සමාජ සුබසාධන වැඩසටහන් දෙකක් ද ජනාධිපතිතුමා විසින් යෝජනා කර ඇත.

    2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල, අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා මුදල් ප්‍රදානයක් ලෙස රුපියල් බිලියන 19ක් වෙන් කර ඇති අතර, එය 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 28.4ක ප්‍රතිපාදන අඛණ්ඩව පවත්වාගෙන යෑමකි.

      06.අවශ්‍යතාව මත නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක මාසික මූල්‍ය ආධාරයක්

      නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත.

      2025 මාර්තු 24 දින නිකුත් කරන ලද, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ වර්ධක සහ වෙනස්කම් ඇතුළත් ගැසට් පත්‍රය (අංක 2429/02) 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම ගැසට් පත්‍රය මගින් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDU) පෙළෙන ඉලක්කගත රෝගීන් සඳහා වන මූල්‍ය දීමනාව ඉහළ නංවයි. අනුමත ගැසට් පත්‍රය යටතේ,ප්‍රතිලාභීන් 50,000ක් සඳහා පෙර තිබු රුපියල් 7,500ක දිමනාව රුපියල් 10,000ක ක් දක්වා වැඩි කර ඇත .මෙම යෝජනා ක්‍රමය 2025 අප්‍රේල් සිට 2026 දෙසැම්බර් දක්වා කාලය දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ය.

      ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම ක්‍රියාත්මක කිරීම තහවුරු කරන අතර, දැනට ප්‍රතිලාභීන් 39,169 දෙනෙකුට මෙම දීමනාව ලැබෙමින් තිබිණ. නොවැම්බර් මාසයට අදාළ ගෙවීම් නිකුත් කර ඇත.

      2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තු, අස්වැසුම වැඩසටහන යටතේ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 6.3ක් වෙන් කර ඇත. මෙය 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 4.5ක වෙන් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යෑමකි.

      07.අවශ්‍යතාව මත ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක්

      ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා වැඩි කර ඇත.

      2025 මාර්තු 24 දින නිකුත් කරන ලද අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ වර්ධක සහ වෙනස්කම් ඇතුළත් ගැසට් පත්‍රය (අංක 2429/02) 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම ගැසට් පත්‍රය මඟින් තෝරා ගත් ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා වන මූල්‍ය දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නංවයි. තෝරා ගත් ප්‍රතිලාභීන් වන්නේ අවුරුදු 70 හෝ ඊට වැඩි අස්වැසුම ලේඛනයේ සිටින පවුල්වල පුද්ගලයන් ය. වැඩි කළ ගෙවීම් 2025 අප්‍රේල් සිට 2026 දෙසැම්බර් දක්වා කාලය සඳහා ක්‍රියාත්මක වීමට නියමිතය.

      2025 සැප්තැම්බර් 26 වන විට, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් තෝරා ගත් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ව විධිමත්ව දැනුම්වත් කර ඇත. රුපියල් 5,000ක දීමනාව ඔවුන්ගේ අස්වැසුම හා සම්බන්ධ බැංකු ගිණුම්වලට සෘජුවම තැන්පත් කරමින් පවතී. නොවැම්බර් මාසයට අදාළ ගෙවීම් දැනටමත් නිකුත් කර ඇත.

      2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවෙන්, අස්වැසුම වැඩසටහන යටතේ අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 54.2ක් වෙන් කර ඇත. මෙමගින් 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 37.4ක වෙන් කිරීම වැඩි කර ඇත. අවුරුදු 100ට වැඩි වැඩිහිටි පුද්ගලයන් සඳහා 2025 දී වෙන් කළ රුපියල් මිලියන 30ක අතිරේක වෙන් කිරීම අත්හිටුවා ඇත.

        08.සමස්ත අමාත්‍ය සංඛ්‍යාව 50ක් නොඉක්මවීම සහ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 25ක් නොඉක්මවීම

        මෙම පොරොන්දුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති සීමාවට වඩා අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වාගෙන යාමට ගෙන ඇති පියවරක් ලෙස නිර්වචනය කරනු ලබයි.

        ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වන වගන්තිය යටතේ, කැබිනට් අමාත්‍යවරුන් 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40කට සීමා කර ඇති අතර, සමස්ත උපරිම සංඛ්‍යාව 70ක් වේ.

        2024 නොවැම්බර් මැතිවරණයෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් 22ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 28ක් පත් කරන ලදී. 2025 ඔක්තෝබර් 10 දින සිදු කරන ලද පත් කිරීම් සමඟ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංවුණු අතර, එය පොරොන්දු වූ උපරිම සීමාව වන 25 තුළ පවතී. නියෝජ්‍ය අමාත්‍යවරුන් 32 දක්වා වැඩි වූ අතර, ඒ අනුව මුළු අමාත්‍ය සංඛ්‍යාව 55ක් විය.

          09. ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතවලට වඩා 5%කින් වැඩි ස්ථාවර තැන්පතු පොලී අනුපාතයක් ස්ථාපිත කිරීම

          වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව, මාස 12ක කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතු සඳහා 3%ක අමතර පොලී අනුපාතයක් හිමිවේ. මෙම සහනය ලබාගත හැක්කේ 2025 දෙසැම්බර් 31 දක්වා පමණි.

          2025 ජූනි 16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් ‘2025 ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය’ හඳුන්වා දුන් අතර, එය 2025 ජූලි 1 සිට දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වේ. මෙම වැඩසටහන යටතේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට, රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව මාස 12ක කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂිකව 3%ක අමතර පොලී අනුපාතයක් පිරිනමනු ලැබේ. මේ සඳහා සුදුසුකම් ලැබීමට මාසික ආදායම රුපියල් 150,000කට වඩා අඩු බවට සහ අදාළ තැන්පතු තමාගේම පෞද්ගලික ඉතිරි කිරීම් බවට තහවුරු කළ යුතුය. සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවලට සාපේක්ෂව මෙම විශේෂ තැන්පතු ක්‍රමය යටතේ පිරිනමන ඉහළ පොලී අනුපාත හරහා රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. බැංකු මට්ටමින් පවතින දත්ත මගින් එම වෙනස පහත පරිදි පැහැදිලි වේ:

          ලංකා බැංකුව (BOC):

          • විශේෂ ක්‍රමය: මාසිකව 11.46% | වාර්ෂිකව 12.08%
          • සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 7.00% | කල් පිරීමේදී 7.25%

          මහජන බැංකුව:

          • විශේෂ ක්‍රමය: මාසිකව 11.46%
          • සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 6.50% | කල් පිරීමේදී 6.75%

          සෙලාන් බැංකුව:

          • විශේෂ ක්‍රමය: මාසිකව 11.46% | වාර්ෂිකව 12.08%
          • සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 6.50% | කල් පිරීමේදී 7.00%

          හැටන් නැෂනල් බැංකුව (HNB):

          • විශේෂ ක්‍රමය: මාසිකව 11.46%
          • සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 7.00% | කල් පිරීමේදී 7.25%

          කොමර්ෂල් බැංකුව:

          • විශේෂ ක්‍රමය: මාසිකව 11.46%
          • සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 7.25% | කල් පිරීමේදී 7.50%

          2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවල ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කර තිබූ අතර, 2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10කි.

            10.වාර්ෂික ආදායම් බදු අය කිරීමේ සීමාව රුපියල් මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම

            උපයනවිට බද්ද වෘත්තිකයන්ට අසාධාරණයක් නොවන පරිදි සංශෝධනය සහ පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 සිට රුපියල් මිලියන 2.4 දක්වා වැඩිකිරීමට සහ බදු කාණ්ඩ (Tax Brackets) හා බදු අනුපාත (Tax Rates) සාධාරණ ලෙස සංශෝධනය කිරීම.

            2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2025 අංක 02 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 සිට රුපියල් මිලියන 1.8 දක්වා ඉහළ නංවා ඇත.

            මෙමගින් මාසික බදු නිදහස් සීමාව රුපියල් 100,000 සිට 150,000 දක්වා ඉහල නැංවේ.

            ක්‍රියාත්මක වෙමින් පවතින පොරොන්දු

            11.ජීවන වියදමට සාපේක්ෂව කඳුරට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම
            12.වතු ආශ්‍රිත ප්‍රදේශවල නිවාස ඉදි කිරීම

            13.ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2,000ක සූර්ය බලශක්තිය එකතු කිරීම
            14.උසස් පෙළ සමත් සිසුන් 200ක් සඳහා විදේශයන්හි උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීම
            15.සොරකම් කළ වත්කම් නැවත ලබාගැනීමේ ආයතනයක් පිහිටුවීම
            16.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ සමීප ඥාතීන් රජය සමඟ ව්‍යාපාරික සබඳතා පැවැත්වීම වැළැක්වීම
            17.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම
            18.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන විධිවිධාන ඉවත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම
            19.උතුරු සහ නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල අතීත දේශපාලන ඝාතන, ප්‍රහාර සහ අතුරුදහන්වීම් පිළිබඳ පරීක්ෂණ අවසන් කර යුක්තිය තහවුරු කිරීම
            20.ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ මත පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
            21.සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය හා පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටම් වෙත බලය වැඩි වශයෙන් විමධ්‍යගත කිරීම සහතික කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම
            22.විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් (DSA) සකස් කිරීම
            23.පසුගිය රජයන් විසින් ලබාගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් පැවැත්වීම

            24විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම
            25.සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
            26.කෙටි කාලයක් තුළ සෞඛ්‍ය සඳහා වන රජයේ වියදම් ක්‍රමයෙන් 3%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට වැඩි කිරීම
            27.පාසල් දරුවන් සඳහා වන ජාතික විභාග ප්‍රතිඵල මාසයක් ඇතුළත ඇගයීමට ලක් කර මාස දෙකක් ඇතුළත නිකුත් කිරීම
            28.ජාතිවාදය සහ ආගමික අන්තවාදය ඇතුළත් වන පරිදි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ විෂය පථය පුළුල් කිරීම
            29.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත ලැබෙන පැමිණිලි මාස හයක් (06) තුළ විමර්ශනය කිරීම; එසේ නොමැති නම් ඉතිරිය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

              ක්‍රියාත්මක කිරීමට අසමත් වූ පොරොන්දු

              30.වසරක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම

              වත්මන් රජය බලයට පත්ව වසරක් ගතවී ඇතත්, මෙතෙක් පළාත් සභා මැතිවරණය පවත්වා නොමැත.

              විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, මැතිවරණය පවත්වනු ලබන මැතිවරණ ක්‍රමය සහ සීමා නිර්ණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර අනුමැතිය ලබා ගත් හොත් , 2026 වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

              2024 පළාත් පාලන මැතිවරණයේ පිරිවැය ද ඇතුළත් කරමින් 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවල මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වෙන් කර තිබුණද, 2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 5ක් පමණි.

              ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය රාමුව සමාලෝචනය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බවයි.

              මූලාශ්‍රය: https://manthri.lk/

              Hot this week

              GMOA දැඩි තීරණයක

              සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

              ‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

              අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

              පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

              මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

              මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

              කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

              හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

              අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

              Topics

              GMOA දැඩි තීරණයක

              සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

              ‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

              අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

              පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

              මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

              මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

              කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

              හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

              අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

              පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

              ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

              පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

              ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
              spot_img

              Related Articles

              Popular Categories

              Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

              Become a patron