පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවය.
අම්බුළුවාව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙම අදහස් පල කළේය.
එම අවස්ථාව සදහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සදහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් කිසිදු පාරිසරික හානියක් සිදුනොවන බවය.
ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වෙලා ද ?
කෙසේ වුවද අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබාදී තිබියදී ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මහජන අදහස් ලබා ගැනීම අවහිර කර ඇති බවත්, පුවත්පත් දැන්වීම් පල කර නැති බවත්, ගැසට් පත්‍රයේ පල කර නැති බවත් අනාවරණය වී තිබේ.
ඒ, ඊයේ (04) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අම්බුළුවාව කන්ද ආශ්‍රිත පරිසර හානි හාන අවධානම ගැන සොයා බැලීම සඳහා ඒකාබද්ධ නිරීක්ෂණ චාරිකාවකට පෙර පැවති රැස්වීමකදී ය.
බලධාරීන් ප්‍රකාශ කරන්නේ මොනවා ද ?
එම සාකච්ඡාවේදී මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය කරුණු දක්වමින් සඳහන් කළේ, අම්බුළුවාවේ ඉඩම් කොටස් උඩපලාත, ගඟඉහළ සහ මාවනැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස තුනටම අයත් වුවත් මාවනැල්ලට අයිති ඉඩම් කොටස් තවමත් ලියාපදිංචි කර නොමැති බවයි.
එසේම, යම් කටයුත්තක් ආරම්භ කර ඉන් පසු මාවනැල්ලට අවසර ගැනීමට පැමිණි බවත්, අම්බුළුවාවේ ඉඩම් පවරා ගැනීමේ ක්‍රියාවලිය ද අසාමාන්‍ය ලෙස හදිසි කටයුත්තක් සේ සිදුවී ඇති බව ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන බවත් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ ය.
අම්බුළුවාව අයත් ග්‍රාමනිලධාරී වසමේ හිටපු ග්‍රාමනිලධාරී ජගත් ගොඩමුන්න මහතා කරුණු දක්වමින්කියා සිටියේ, අම්බුළුවාවේ අත්තතෝමතිකව සංවර්ධනය සිදුවූ ආකාරයත්, ඊට එරෙහිව ගම්වාසීන් පැමිණිලි කිරීම ගැනත් කරුණු පැහැදිලි කළ අතර, අවිධිමත් සංවර්ධනය ගැන ඡායාරූප සහ වීඩියෝ මඟින්ද පෙන්වා දෙන ලදී.
කේබල් කාර් ව්‍යාපෘතිය සිදු කරන විට ප්‍රදේශවාසීන් සහ පරිසරය බරපතල අන්තුරකට පත් කරමින් ගල් සහ පස් කන්ද මුදුනේ සිට පහළට තල්ලු කිරීමත්, අවදානම් සමඟ ලෙස පස් පුරවා ඇති ආකාරයත් වීඩියෝ සහ ඡායාරූප මඟින් සාක්ෂි පෙන්වමින් කරුණු දැක්වූ හිටපු ග්‍රාම නිලධාරී ගොඩමුන්න මහතා අවධාරණය කළේ, මෙවැනි අවස්ථාවල ජාතික ඩෙනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ පරිසර අධිකාරියෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු නොවූ බවයි.
අම්බුළුවාව කන්දේ එක්තරා ස්ථානයකින් බොරවතුර පැමිණීමක් නිරීක්ෂණය කර එය 2024 වසරේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට පෙන්වා සිටියත් ඔවුන් එහි වාර්තාව ලබා නුදුන් බව ද, දිට්වා අපදාව සිදුවූ අවස්ථාවේ එම ස්ථානය ආශ්‍රිතව නායයෑමක් සිදුවූ බවත්, තමා විශ්‍රාම ගන්නා තෙක්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන ආරක්ෂාව ගැන සිතා අවශ්‍ය ක්‍රියාමාර් නොගත් බවත්, ඔහු පෙන්වා දුන්නේ ය.
නිරීක්ෂණ චාරිකාව අතරතුරදී වනජීවී දෙපාර්තමේන්තුව අමාත්‍ය ධම්මික පටබැඳි මහතාට පෙන්වා දුන්නේ, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල ද අනවසරයෙන් ඉදිකිරීම් කර ඇති බවයි.
එසේම, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මැනීම් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසර ගණනක සිට මැනුම් නියෝග නිකුත් කළ ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව එය ඉටු කර නොමැති බව ද එම දෙපාර්තනේතුව පෙන්වා දුන්නේ ය.
එම අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කළේ, අම්බුළුවාව බාරකාර මණ්ඩලයේ සාමාජිකයකු එලෙස එහි සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියදීම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් අම්බුළුවාවේ ඉඩම් මැනීමට සම්බන්ධ වී ඇති බවත්, ඔහුගේ බිරිඳද අම්බුළුවාවේ ඉඩම් මැනීමට සම්බන්ධ වී ඇති බවත්, අම්බුළුවාවේ ඉඩම් මැනුම් කළ ආකාරය ගැන බරපතල සැකයක් ඇතිවී තිබෙන බවයි.
නිරීක්ෂණ චාරිකාව අවසන්වී අමාත්‍යවරයා සඳහන් කළේ, අත්තනෝමතික ලෙස ආයෝජන නැවැත්වීමට ආණ්ඩුව කිසිම අවස්ථාවක කටයුතු නොකරන බවයි.
මහජන ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් ගැන සොයා බලන බවත්, එසේ සොයා බැලීමෙන් පසු අම්බුළුවාව ගැන තීන්දුවක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.


