ඓතිහාසික බදුල්ල නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආර්ථික, පරිපාලන සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ අරමුණින් සකස් කරන ලද දැවැන්ත නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (2026 පෙබරවාරි 5) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 2026 අයවැය මගින් සංවර්ධනය කිරීමට නියමිත දිවයිනේ ප්‍රධාන නගර 10 අතරට බදුල්ල නගරය ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවීන්ද්‍ර බණ්ඩාර මහතා හා සුදත් බලගල්ල මහතා, බදුල්ල නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා, බදුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානි ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ප්‍රධාන ව්‍යාපෘති 13ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නගර සංවර්ධනය යටතේ බදුල්ල නගරය පරිපාලන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. ඒ අනුව එහි මූලික පියවරක් ලෙස ඌව පළාත් සභාවේ දෙවන අදියරේ ගොඩනැගිල්ල මෙම වසර තුළදීම ඉදිකිරීමට නියමිත අතර, පැරණි තානායම පිහිටි අක්කරයක පමණ භූමි ප්‍රමාණයක නව වාණිජ ගොඩනැගිල්ලක් සහ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබඳව ද මෙහි දි වැඩි දුරටත් සාකච්ඡා කරන ලදි.
තවද, නගරයේ ඇති විශ්වවිද්‍යාලය, ප්‍රධාන පාසල් සහ උපකාරක පන්ති කලාප ඒකාබද්ධ කරමින් නව අධ්‍යාපනික නගරයක් බිහි කිරීමටත්, දැනට පවතින බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය සම්බන්ධ කරමින් නව උප බස් නැවතුම්පොළක් ඉදිකිරීමටත්, එම මුළු ප්‍රදේශයම ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටත්, බදුල්ල නගරයේ ප්‍රධාන මාර්ග හතරක් මංතීරු හතරක් සහිතව නවීන නගරයක ලක්ෂණ විදහා දක්වන පරිදි සංවර්ධනය කිරීමටත් මෙහිදි සාකච්ඡා කරන ලදි.
බදුල්ල නගරයේ දැනට පවතින ප්‍රධාන අපද්‍රව්‍ය රඳවනය (Dumping Ground) සම්පූර්ණයෙන්ම ඉවත් කර නගරයෙන් පිටත ප්‍රදේශයකට ගෙන යාමට සැලසුම් කර ඇති අතර, එමගින් නගරයේ පවතින අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට අපේක්ෂිතය. තවද දැනට පවතින කුණු රඳවනය ඉවත් කර එම ස්ථානයේ නව හොකී ක්‍රීඩාංගනයක් (Hockey Ground) ඉදිකිරීමට යෝජිතය. ඒ අනුව බදුල්ලට නව ජවයක් ලබා දෙමින් ප්‍රධාන ක්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය, පාපන්දු, ක්‍රිකට් සහ නව හොකී ක්‍රීඩාංගනයක් සහිත ඒකාබද්ධ ක්‍රීඩා සංකීර්ණයක් සැලසුම් කිරිම පිළිබඳවද මෙහිදි සාකච්ඡා කරන ලදි.
බදුල්ල නගරයේ ඇති ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ කරමින් සංවර්ධනය කිරිමට යෝජිතය. පැරණි ඕලන්ද බලකොටුව සංවර්ධනය කිරීම, බදුල්ල බන්ධනාගාරය තුළ ඇති පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය සහ සංවර්ධනය, සෙනරත් පරණවිතාන පුස්තකාලය අවට ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිලි සංවර්ධනය, ඓතිහාසික වටිනාකමකින් යුත් කොතලාවල වලව්ව සංචාරක කර්මාන්තයට ගැලපෙන සේ සංවර්ධනය කිරීම යනාදි මෙම සියලු ස්ථාන බදුල්ල නගර සංවර්ධන සැලැස්මට ඇතුළත් කර ඇති අතර, එමගින් නගරයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට පිළිබඳවද මෙහිදි සාකච්ඡා විය.
එමෙන්ම සරුංගල් කන්ද සහ දුන්හිඳ ඇල්ල ආශ්‍රිත ප්‍රදේශ සංචාරක කලාප ලෙස දියුණු කිරීමද සැළසුම් කොට ඇති අතර ඒ හරහා සමස්ත නගර සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කිරීමත් කෙරෙන අතර ඒ සමගම බදුල්ල නගරය ලංකාවේ වඩාත් ආකර්ෂණීයම සහ ක්‍රමවත් නගරයක් බවට පත් කිරිම මෙම සංවර්ධන සැලැස්මේ අරමුණ වේ.


