-WHAT NEWS –
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටිය දී පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කරමින් සටහන් පොත් උදුරා ගත්තේ යැයි චෝදනා කරමින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කළ බව සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් මහත්මිය පවසනවා.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය” සංවිධානය සඳහන් කරන්නේ, මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගැනීම දැඩි ලෙස හෙළා දකින බවයි.
අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පෑ බව තමා කළ පැමිණිල්ලේ සඳහන් වන බවත්, එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවත් මාධ්‍යවේදිනිය විසින් තම සංවිධානය වෙත සඳහන් කළ බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ.
කෙසේ නමුත්, පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන් බවත්, ඉන් අනතුරුව ගාල්ල පොලිසියට පැමිණිලි කළ බවත් සඳහන් කරන මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් එලෙස සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වෙතින් විමසූ විට ඔවුන් එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බව සඳහන් කරන බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සුලෝචනා මහත්මිය සඳහන් කර ඇත්තේ, තමන් කළ පැමිණිල්ලෙහි අංකයද පොලිසිය විසින් තමා වෙත ලබා නොදුන් බවයි.
මෙම සිද්ධිය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ, මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව තම සංවිධානයේ මතය බවත්, මෙම සිදුවීම දැඩිව හෙළා දකින බවත්, පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ය.


