යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නැවතත් අදාළ පාර්ශවයන් වෙත නිදහස් කිරීමේ වැඩපපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධව ඊයේ(20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
ජාතික ආරක්ෂාවේ වැදගත්කම සහ ඒ සඳහා අවශ්‍ය හමුදා කඳවුරු ස්ථානගත කිරීම සම්බන්ධවද එම සාකච්ඡාවේදී ආරක්ෂක අංශ වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ මත පදනම් වෙමින් නැවත නිදහස් කළ හැකි ඉඩම් සහ එසේ නිදහස් කළ නොහැකි ඉඩම් සම්බන්ධව කඩිනම් තීරණයකට එළඹීමේ අවශ්‍යතාවයද ඔහු එහිදී පෙන්වා දුන්නා.
එහිදී අත්‍යවශ්‍යවන නිදහස් කළ නොහැකි ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පාර්ශවයෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර දෙන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළා.
එම ඉඩම් කොටස් නිදහස් කිරීමට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීම කෙරෙහිද වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


