මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මඩකලපුව කාර්යාලයේ නිලධාරීන් සිය රාජකාරි කටයුතුවල නිරතව සිටියදී ඊට බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
අදාළ නිලධාරීන් සිදුකරමින් සිටි රාජකාරිය කුමක්ද සහ එම කටයුතුවලට භික්ෂුව මැදිහත් වූයේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව මෙතෙක් පොලීසිය විසින් වැඩිදුර තොරතුරු අනාවරණය කර නැහැ.
අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙරත් ආන්දෝලනාත්මක සිදුවීම්
පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් නැගෙනහිර පළාත තුළ අවස්ථා කිහිපයකදී නිලධාරීන් හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් අවධානයට ලක්වූ භික්ෂුවක්.
මීට පෙර අම්පාර පොලීසිය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන්ද උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණා. එහිදී සැකකරුවෙකුගේ දරුවන් ත්‍රිරෝද රථයකින් රැගෙන යාම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කළ බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබූ බව සඳහන්.
මීට අමතරව, 2023 වසරේදී මඩකලපුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වාර්ගික වෛරය උසිගැන්වූ බවට චෝදනා කරමින් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේද උන්වහන්සේට එරෙහිව නඩු කටයුතු ආරම්භ වී තිබුණා. එම නඩුවට අදාළව 2025 දෙසැම්බර් මාසයේ පැවති නඩු විභාගයකට උන්වහන්සේ සහභාගී නොවීමෙන් අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර තිබූ බව වාර්තා වී තිබුණා.
පසුව උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, විදේශ ගමන් බලපත්‍රය භාරදීම සහ පොලීසියට වාර්තා කිරීම ඇතුළු කොන්දේසි මත මඩකලපුව මහාධිකරණය විසින් ඇප ලබාදී තිබුණා.


