වාහනයක පසුපස මැද ආසනයේ ගමන් කරන මගියා ද අනිවාර්යයෙන්ම ආසන පටිය පැළඳිය යුතු බවත්, එලෙස ආසන පටියක් නොමැති නම් එය අලුතින් සවිකර ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි.
මෝටර් රථවල පසුපස මැද ආසනයේ ගමන් ගන්නා මගීන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේය. මීට පෙර තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක ඇතැම් කොටස් පමණක් මාධ්‍ය මඟින් මතු කර දක්වා තිබූ බවත්, සියලුම මගීන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ ප්‍රකාශයේ ප්‍රධාන අරමුණ වූ බවත් ඔහු පැහැදිලි කළේය.
මෝටර් රථ පනතට අනුව රියදුරු ඇතුළුව පුද්ගලයින් නව දෙනෙකු දක්වා ගමන් කළ හැකි පරිදි මෝටර් රථ ලියාපදිංචි කළ හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, සාමාන්‍ය සෙඩාන් වර්ගයේ රථයක ආසන පහක් පවතින බැවින් පසුපස ආසනයේ මගීන් තිදෙනෙකු ගමන් කරන විට මැද සිටින පුද්ගලයා ද අනිවාර්යයෙන්ම ආසන පටිය පැළඳ සිටිය යුතු බව අවධාරණය කළේය. කුඩා ප්‍රමාණයේ මෝටර් රථවල වයස අවුරුදු 12ට වැඩි පිරිසක් ගමන් කළ ද මෙම නීතිය එලෙසම බලපාන බව ඔහු සඳහන් කළේය.
නූතන නිෂ්පාදිත වාහනවල පසුපස මැද ආසනය සඳහා 3-point belt හෝ Lap belt ආකාරයේ ආරක්ෂිත පටි නිෂ්පාදකයා විසින්ම සවිකර ඇති බවත්, යම් හෙයකින් එම පහසුකම නොමැති හෝ කැඩී බිඳී ඇති වාහන පවතී නම්, වහාම එවැනි ආරක්ෂිත පටියක් අලුතින් සවිකර ගැනීමට පියවර ගන්නා ලෙසත් ඔහු උපදෙස් දුන්නේය. හදිසි අනතුරකදී මැද අසුනේ ගමන් කරන පුද්ගලයාට ද දැඩි අවදානමක් පවතින බැවින් මෙම පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ගය ඉතා වැදගත් වන අතර, දැනටමත් බොහෝ පිරිසක් මෙම නීතියට අනුගත වෙමින් ආසන පටි සවිකර ගැනීමට කටයුතු කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.


