පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහනකදී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවූ ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.
පසුගිය සතිය තුළ සිදුකරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී සමස්ත පරීක්ෂා කිරීම් 144 ක් සිදුකර ඇත. ඊට නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96 ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48 ක් ඇතුළත් වන බව එම අධිකාරිය සඳහන් කරයි.
2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/42 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ විධාන අංක 96 අනුව, 2026 අප්‍රේල් 01 දින සිට නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය ද, පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතිය ද අදාළ වේ. මේ යටතේ දේශීයව නිෂ්පාදනය කරන අදාළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරන SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර ඇත. කෙසේ වෙතත්, ආනයනික නිෂ්පාදන සඳහා SLS ලාංඡනය තිබීම අනිවාර්ය නොවන නමුත්, එම භාණ්ඩ ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ පරීක්ෂා කර අලෙවිය සඳහා අනුමත කර තිබීම අනිවාර්ය වේ.
මෙම මෙහෙයුමේදී විධාන අංක 83 යටතේ බිල්පත් සහ ඉන්වොයිසි පරීක්ෂා කරමින් භාණ්ඩවල මූලාශ්‍රය හඳුනාගැනීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර, අදාළ වෙළෙන්දාගේ සිට ආනයනකරු හෝ නිෂ්පාදකයා දක්වා වූ මුළු සැපයුම් දාමය ඔස්සේම ඉදිරි විමර්ශන මෙහෙයවීමට පියවර ගෙන තිබේ.
මේ අතර, දේශීය භාණ්ඩ මිලදී ගැනීමේදී SLS ලාංඡනය පරීක්ෂා කරන ලෙසත්, ආනයනික භාණ්ඩයක SLS ලාංඡනය නොමැති පමණින් එය නීති විරෝධී යැයි නිගමනය නොකරන ලෙසත් පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අදාළ ප්‍රමිති සහ නීතිමය අනුකූලතාව තහවුරු කරගන්නා ලෙස වෙළෙඳුන්ට සහ ආනයනකරුවන්ට ද දැනුම් දී ඇත.
ප්‍රමිතියෙන් තොර සැකකටයුතු භාණ්ඩ පිළිබඳ තොරතුරු වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.


