හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිදුවීමට අදාළව, එම පොලිස් ස්ථානයේ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්යවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් නියෝගයකට අනුව මෙම තීරණය ගෙන ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැඩි ක්රියාමාර්ග ගනිමින් සිටින අතර, මීට පෙර ද හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබිණි. එසේම වැඩ තහනමට ලක්වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (28) දිනයේදී අත්අඩංගුවට ද පත්විය.
මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වූ ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයා පසුගිය 25 වැනිදා මෙලෙස මියගොස් තිබිණි. කෙසේ වෙතත්, තම ඥාතියා මියගියේ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික පහරදීම් හේතුවෙන් බවට මියගිය තරුණයාගේ පාර්ශ්වය දැඩි ලෙස චෝදනා කරයි.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට පවත්වා අවසන් කර ඇති අතර, මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන තවදුරටත් ක්රියාත්මකය


