පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදුකරන මුදල් විශුද්ධිකරණ විමර්ශනයට අදාළ නඩුව ලබන පෙබරවාරි මස 11 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය. එදිනට නීතිපති උපදෙස් ලබාගැනීමට අදාළ කටයුතුවල ප්රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්රාත්වරයා නියම කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව මෙම විමර්ශනය සිදුකෙරේ. අද දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර, ඇප මත සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්ය සමරනායක සහ සුදර්ශන බණ්ඩාර යන අය අධිකරණයේ පෙනී සිටියහ.


