මාරාන්තික අප්රිකානු සූකර උණ රෝගය මෙරට තුළ යළි හිස එසවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්යාංශය අනතුරු අඟවයි. කෙසේ වෙතත්, මෙම රෝගය සතුන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බැවින් පාරිභෝගික ජනතාව හෝ සූකර ගොවීන් මේ පිළිබඳ අනවශ්ය භීතියක් ඇති කරගත යුතු නැති බව බලධාරීහු අවධාරණය කරති.
විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ප්රධාන වසංගත රෝග විශේෂඥ වෛද්ය ප්රදීප් කුමාරවඩු මහතා සඳහන් කළේ, දිවයිනේ මහා පරිමාණ ගොවිපළවල් 48ක සතුන් 1,200කට ආසන්න ප්රමාණයක් පරීක්ෂාවට ලක් කළ බවයි. එහිදී සතුන් විශාල සංඛ්යාවකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, පරීක්ෂා කළ ප්රධාන පෙළේ අභිජනන මධ්යස්ථාන තුනෙන් දෙකකම රෝග කාරකය පැතිර ගොස් ඇති බව හඳුනාගෙන තිබේ.
මෙම රෝගය සඳහා මෙතෙක් ලොව පුරා කිසිදු එන්නතක් හෝ ප්රතිකාරයක් සොයාගෙන නොමැති බැවින්, රෝගය මර්දනය කළ හැක්කේ දැඩි ජෛව ආරක්ෂණ ක්රමවේද සහ නිසි මාර්ගෝපදේශ පිළිපැදීමෙන් පමණක් බව විශේෂඥ වෛද්යවරයා පෙන්වා දෙයි.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්යාංශයේ අධ්යක්ෂ වෛද්ය සිසිර පියසිරි මහතා කියා සිටියේ, මෙම වෛරසය ආසාදනය වන සතුන් 100%ක්ම මරණයට පත්වන බැවින් සූකර කර්මාන්තයට සහ ආර්ථිකයට මෙයින් දැඩි බලපෑමක් එල්ල වන බවයි. පරිසරය තුළ දීර්ඝ කාලයක් සක්රීයව පැවතිය හැකි මෙම ක්ෂුද්ර ජීවියා මිනිසුන් භාවිත කරන ඇඳුම්, පාවහන්, ගොවිපළ උපකරණ මෙන්ම ප්රවාහන වාහනවල රෝද ආශ්රිතව එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් ව්යාප්ත විය හැකිය.
රෝගී සතුන්ගේ ඛේටය සහ නාසයෙන් පිටවන ශ්රාවයන් ආඝ්රාණය වීමෙන් හෝ ආහාරයට එක්වීමෙන් නිරෝගී සතුන්ට රෝගය බෝවන අතර, පෙනහළු, වකුගඩු හා වසා පද්ධතිය ඉදිමීම සහ ප්රජනන ක්රියාවලිය අඩපණ වීම මෙහි ප්රධාන රෝග ලක්ෂණ වේ.
මෙම වෛරසය මිනිස් සිරුරට බලපෑමක් ඇති නොකළ ද, රෝගය වැළඳී මියයන සතුන්ගේ මස් පරිභෝජනයට ගැනීමෙන් වෙනත් ද්විතීයික විෂබීජ සහ අතුරු ආසාදන හටගැනීමේ අවදානමක් පවතින බැවින්, එවැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස සෞඛ්ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

