රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද නිවාඩු ලබාසිටීම හේතුවෙන් මෙලෙස එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්ව එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානි පූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.


