සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇපමත මුදා හැරීමට නුවර මහේස්ත්‍රාත් ශ්‍රීනාත් විජේසේකර මහතා ඊයේ (06) නියෝග කළේය.
විදේශ රටක සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට whatsapp මාර්ගයෙන් තර්ජනය කළැයි අසත්‍යය පැමිණිල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියන්ත ජයකොඩි මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේ එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ කරුණු දැන්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් 10,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය.
2025.07.06 වැනිදා තමාට තර්ජනය කළ බවට ප්‍රියන්ත ජයකොඩි මහතා කර තිබූ පැමිණිල්ලක් අනුව පරීක්ෂණයක් පැවැත්වූ තම දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී මහේස්ත්රාත්වරයාට දැනුම් දී තිබේ.
එම සැකකරු කෙහෙල්බද්දර පද්මෙ නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් එසේ තර්ජනය කර ඇත්තේ ප්‍රියන්ත ජයකොඩිගේම ඉල්ලීමක් මත බව එම සැකකරු පාපොච්චාරණය කොට තිබේ. ඒ අනුව ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දෙන ලදී.
සැකකාර ප්‍රියන්ත ජයකොඩි මහතා කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ පිහිටි වන් ගෝල්ෆේස් නමැති ස්ථානයේදී පසුගිය මැයි මස අග භාගයේ සහ ජුනි මස මුල් සතිය ඇතුළත දිනයක හමුවී එම ඉල්ලීම කර ඇති බවට එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පළමු සැකකරු ප්‍රකාශ ලබාදී ඇති අතර එම ප්‍රකාශ වලට අදාල සී.සී.ටී.වී දර්ශන ලබාගෙන විමර්ශන සිදුකරන බවත්, මේ දක්වා එම විමර්ශනය අවසන් වී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ හේතුවෙන් සැකකාර ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන එම කරුණු කිසිසේත්ම විය නොහැකි බවත් මැයි 20 වෙනිදා වකුගඩු ශල්‍යකර්මයකට ලක්වූ සිය සේවා දායකයා එම කාලය තුළ රෝහලේ නේවාසිකව පසු බවත් වෛද්‍ය නිර්දේශ මත නිවසේ රැඳී සිටිය බවත් අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිය කරුණු දැක්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛනද අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඇප නියෝග කළේය.
අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මස 29 වෙනිදා මහාභාගේ පිහිටි නිවසේදී ප්‍රියන්ත ජයකොඩි මහතා අත්අඩංගුවට ගෙන තිබූ අතර රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රාගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුළත් කර තිබේ.
එම රෝහලට ගිය වැලිසර වැඩ බලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ඉන්දික අතුරුලිය, සැකකාර ප්‍රියන්ත ජයකොඩි මහතා ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
එදින වැඩ බලන මහේස්ත්‍රාත්වරයා කරන ලද නියෝගයක් අනුව ප්‍රියන්ත ජයකොඩි මහතා ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇප මත මුදා හැරීමට නුවර මහේස්ත්‍රාත් නියෝග කොට ඇත.


