බස් ගාස්තු සංශෝධනයට අදාළව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වන දින බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු බවය.
ඒ අනුව 2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුකොටගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස්රථ මාදිලි, අමෙරිකානු ඩොලරයේ සිදුවන උච්ඡාවචනයන් මිල සංශෝධනයට සැලකිල්ලට ගනු ලබයි.
තවද බස්රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සහ මෑතකදී හඳුන්වා දෙන ලද පතුල පහත් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස්රථ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, දැනට පවතින බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම, සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අනුව, 2026-06-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලැබ ඇති ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


