නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා අලුතින් පත්කරන ලද කළමණාකාර නුවන් තරංග මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මැනිං පොදු වෙළඳ සංකීරණයේ කලක් තිස්සේ තැනින් තැනට ගොස් අවිධිමත් අන්දමින් තේ අලෙවියේ නියුතු වූ කුඩා ව්‍යවසායකයින් පිරිසක් හඳුනා ගැනීම සිදු කරන ලදි.දෛනිකව දැඩි පරිශ්‍රමයක් දරමින් රැකියාව කරන වෙළඳ සංකීරණයේ වෙළෙඳුන්, සහායකයින් ඇතුළු සියලු පාර්ශව වලට ප්‍රධාන ආපන ශාලාව වෙත යා නොහැකි පසුබිමක් මත මෙම ජංගම තේ අලෙවි කරන පිරිස සඳහා ඉහළ ඉල්ලුමක් ලැබෙන බව එහිදී හඳුනා ගන්නා ලදී.
ඒ අනුව එම කුඩා ව්‍යවසායකයින් දිරි ගැන්වීමක් වශයෙන් Nestle professional සහ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මුල් අධියරේදී තෝරාගත් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් සඳහා ජංගම අලෙවි රථ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (04) වන දින ග්‍රාම සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතා, පෑලියගොඩ නගරාධිපතිතුමා සහ නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති M.G හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම ජංගම අලෙවි රථයක වටිනාකම රුපියල් ලක්ෂ 8ක් පමණ වන අතර ඒ තුළ ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක්, ආරෝපණය කළ හැකි බැටරියක්, ආලෝකය ලබා ගැනීමට අවශ්‍ය විදුළි බුබුලක් , කෙටි ආහාර ආරක්ෂිතව ගබඩා කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ආදී දේ වලින් සමන්විත වේ.

මෙම අලෙවි රථ ලබා දීම සඳහා නෙස්ලේ ලංකා ආයතනය පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දී ඇති අතර පළමු අධියරේ සාර්ථකත්වය මත දෙවැනි අධියරේදී තවත් පිරිසකට මෙම රථ ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනට සමගාමීව මැනිං පොදු වෙළද සංකීරණයේ දෛනික කටයුතු වල නිරත වන පිරිස් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලස්වමින් ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ ශාඛාවක් ස්ථාපනය කිරීම, සතොස ආයතනයේ ශාඛාවක් ප්‍රතිෂ්ඨාපනය කිරීම, ලංකා තොග සංස්ථාවේ සහල් වෙළදසැලක් ආරම්භ කිරීම, හයිලන්ඩ් ආයතනයේ ශාඛාවක් ස්ථාපනය කිරීම,සම්පත් බැංකු ශාඛාවක් ආරම්භ කිරීම සහ චීන වෙළඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අදාළව පළමු පියවර තැබීමද මෙහිදී සිදු කරන ලදි.

මෙම අවස්තාව සඳහා ලංකා හොස්පිට්ල් හි අධ්යක්ෂතුමන්, ලංකා සතොස ආයතනයේ සභාපතිතුමන්, ලංකා තොග සංස්ථාවේ සභාපතිතුමන්, පෑලියගොඩ සම්පත් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරතුමන්, චීන ආයෝජකයින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ (ඉඩම්) H.W සෝමරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී විය.

