තමන් වහන්සේ රජයේ රෝහලකට ඇතුළත් වුවහොත් ඝාතනය කිරීමේ සූදානමක් පැවති බැවින්, උණ තත්ත්වය 102°ක් දක්වා ඉහළ ගිය අවස්ථාවේදී පවා රෝහල්ගත නොවූ බව පූජ්ය බලංගොඩ කස්සප හිමියෝ පවසති.
පෞද්ගලික හෝටල් පරිශ්රයක උන්වහන්සේ රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් උන්වහන්සේ මේ බව ප්රකාශ කළහ. ඒ, ඊයේ (25) වප් පොහෝ දින කොළඹ විහාරමහාදේවි උද්යානයේ පැවති ශීල ව්යාපාරය අතරතුරදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කස්සප හිමියන් සඳහන් කළේ, තමන් වහන්සේ කෙරෙහි පවතින ආදරය සහ ගෞරවය හේතුවෙන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හෝටල් පරිශ්රයකට රැගෙන යාමටත්, පෞද්ගලික වෛද්යවරුන් කැඳවා ප්රතිකාර ලබාදීමටත් දායක පිරිස් කටයුතු කළ බවයි. තමන් වහන්සේලා භාවිත කරන වාහන, ගමන් බිමන් සහ නවාතැන් ගත් හෝටල් කාමර අංක පවා වීඩියෝ කර ප්රසිද්ධියට පත් කරමින් ජනතාව කලකිරීමට පත්කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, සැබෑ දායකයන් කිසි විටෙකත් තමන් අත්නොහරින බව උන්වහන්සේ අවධාරණය කළහ.
තමන් 2022 වසරේ පැවති මහජන අරගලයටද සක්රීයව දායක වූ බව සිහිපත් කළ උන්වහන්සේ, එම අරගලය වෙත විවිධ පාර්ශ්වයන්ගෙන් මුදල් ගලා ආ ආකාරය තමන් දුටු බව පැවසූහ. එහෙත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ක්රියාත්මක කළ මෙම සත්යග්රහය මුදල් මත යැපෙන්නක් නොවන බවත්, මෙය මුදල් ආධාර නොලබන, හදවතින්ම බැඳුණු සාධාරණ අරගලයක් බවත් උන්වහන්සේ කියා සිටියහ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්යානයේ දින 10ක් පුරා අඛණ්ඩව පැවැත්වූ මෙම සත්යග්රහය, ත්රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ලිඛිත දැනුම්දීම මත ඊයේ (25) පස්වරුවේ තාවකාලිකව නතර කෙරුණු අතර, අනතුරුව වප් පොහොය නිමිත්තෙන් එම පරිශ්රයේම ශීල ව්යාපාරයක්ද සංවිධානය කර තිබිණි.


