රන් භාණ්ඩ හොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් බාල වයස්කාර පිරිමි දරුවෙකු දින දෙකක් තිස්සේ අනීතික ලෙස පොලිසියේ රඳවාගෙන කෲර වද හිංසාවලට ලක් කළ හතර ලියද්ද පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට, එම දරුවාට සහ ඔහුගේ භාරකරු වන මවට වන්දි ගෙවන ලෙස ජේෂ්ඨාධිකරණය පෙරේදා (1) නියෝග කළේය.
එලෙස අනීතික ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් එම දරුවාගේ හා භාරකාර මවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ජේෂ්ඨාධිකරණය හතර ලියද්ද පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වීරකෝන් නමැත්තාට ඔහුගේ පෞද්ගලික මුදලින් වද හිංසාවලට ලක් වූ දරුවාට රුපියල් ලක්ෂ තුනක වන්දියක් සහ දෙවෙනි පෙත්සම්කාර මවට රුපියල් 75,000ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කළේය.
තවද, බාල වයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06 ක කාලසීමාව තුළ ඔහුගේ මවට,පියාට හෝ භාරකරුට දරුවා හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කොට තිබේ.
2022 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බාල වයස්කාර පාසල් සිසුවෙකුට පහර දී ඔහුගේ දෑස් වලට නයිමිරිස් යුෂ වත්කර හිංසා සිදු කිරීම මගින් හතර ලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ජ්‍යෙෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක මේ බව සඳහන්වේ.
2022.08. 06 වෙනදා හතරලියද්ද පොලිසියට සිය අසල්වැසියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එවකට වයස අවුරුදු 16 යි මාස 8 ක් වයස ඇති සිය පුත්‍රයාව අත්අඩංගුවට ගෙන පොලිසියේ දින දෙකක් රඳවාගෙන අමානුෂික ලෙස වද හිංසා කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙමින් එම දරුවාගේ මව එම පෙත්සම ගොනුකර තිබේ.
පොලිස් නිලධාරීන් පෙත්සම්කාර දරුවා 2022 වසරේ අගෝස්තු මස 07 දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව මෙම දරුවා පොලිසියට රැගෙන ගොස් වධ හිංසනවලට ලක් කරමින් ප්‍රශ්න කර ඇතැයි අනාවරණය වූ බව තීන්දුවේ සඳහන් වෙයි.
ප්‍රශ්න කිරීම් සිදුවන අතරවාරයේ දරුවාගේ පාදවලට පොලුවලින් පහර දී වද හිංසා වලට ලක් කර ඇති අතර, ලේන්සුවකට නයි මිරිස් කරල් කිහිපයක් මිරිකා එහි යුෂ දරුවාගේ දෑස් වලට වත්කරමින් වද හිංසා පමුණුවා ඇති බවත් නඩු තීන්දුවේදී ප්‍රකාශ විය.
ඉන් අනතුරුව අදාළ දරුවා ඇප මත මුදා හැරීමෙන් පසු ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත්, එහිදී වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ වාර්තාව මගින් පොලිස් අත්අඩංගුවේදී දරුවා වද හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවත් විනිසුරුන් තීන්දුවේදී ප්‍රකාශ කර තිබේ.
ඉන්පසුව මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී අදාළ දරුවා සිය චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ.


