ඌව පළාත් හිටපු මහ ඇමැති සහ හිටපු නියෝජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ, අද (06.08.2025) අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනෙනවා. ඊට පාදක වූ හේතුව කුමක්දැයි එම කොමිසම් සභාව විසින් මාධ්‍ය වෙත මේ වන විට නිකුත් කර තිබෙනවා.
2022 වසරේදි පැන නැගුණු අරගලයේදි එම වසරේ මැයි 09වන දින ගෝල්ෆේස් භූමියේ කදවුරු බැද සිටි අරගකරුවන් වෙත අරලියගහ මන්දිරයේ සිට පැමිණි මැර කණ්ඩායම් පහර දීමත් සමග එවකට ආණ්ඩු පක්ෂයට සම්බන්ධව සිටි මැති ඇමැතිවරුන්ගේ දේපලවලට ජනතාව අලාභ හානි සිදු කරනවා. එහිදී කිරිඉබ්බන්වැව, සෙවනගල ප්‍රදේශයේ පිහිටි ශෂින්ද්‍ර රාජපක්ෂට අයත් යැයි කියැවෙන ගොඩනැගිල්ලකටද හානි පැමිණෙනවා.
එලෙස අලාභහානි වූ ගොඩනැගිලිවලට හානිපූර්ණය කිරීමේ වන්දි රජය විසින් ලබා දෙනවා. එහිදී ශෂින්ද්‍ර රාජපක්ෂට අයත් යැයි සැලකෙන ගොඩනැගිල්ලේ සැබෑ හිමිකාරිත්වය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුවන බව හෙළිදරවු වෙනවා. කෙසේ නමුත්, හිටපු මහ ඇමැතිවරයා විසින් හානි පූර්ණය වෙනුවෙන් ස්ථාපිත කාර්යාලයේ නිලධාරින් වෙත බලපෑම්කර වන්දි ලබාගෙන තිබෙනවා.
ඒ අනුව දූෂනය නැමැති වරද කිරීම, කුමණ්ත්‍රණය කිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන්, පොදු දේපල විෂයෙහි ලා සිදු කරන වැරදි සම්බන්ධයෙන් වන චෝදනා මත හිටපු මහ ඇමැතිවරයා අත්අඩංගුවට ගැනෙනවා.
මින් පෙර ඔහුගේ පියා වන හිටපු කථානායක චමල් රාජපක්ෂ ද, අරගලයේ ප්‍රචන්ඩක්‍රියා හේතුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ දේපළකට හානි වූවා යැයි රජයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රුපියල් ලක්ෂ එකසිය පනහක පමණ (15,022,600) මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වුණා. කෙසේ නමුත් එයට අදාළ විමර්ශණ කටයුතු පිළිබද තොරතුරු මාධ්‍ය වෙත වාර්තා නොවිණි.
සැකකාර ශෂින්ද්‍ර රාජපක්ෂ, අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


