Friday, August 28, 2026
23.3 C
Sri Lanka
Home ක්‍රීඩා ශ්‍රී ලංකාවට ජය පැන් රැගෙන ආ මධුශංකගේ නැවත පැමිණීම!

ශ්‍රී ලංකාවට ජය පැන් රැගෙන ආ මධුශංකගේ නැවත පැමිණීම!

0
96

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය – 2025
පළමු එක්දින ජාත්‍යන්තර තරගය
හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – 29.08.2025

ශ්‍රී ලංකාව –  298/6 (නිශ්ශංක 76, ලියනගේ 70*, කමිදු 57, එන්ගරාවා 2-34)
සිම්බාබ්වේ – 291/8 (රාෂා 92, බෙන් කරන් 70, විලියම්ස් 57, මධුශංඛ 4-62, අසිත 3-50)

තරගාවලි දෙකක විරාමයකින් පසු ජාතික කණ්ඩායම සමග එක් වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකගේ පන්දු යැවීමේ පිහිටෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පළමු එක්දින තරගය ලකුණු 07කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 299ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට, අවසන් පන්දුවාරය තෙක්  පෙනෙන තෙක් මානයේ තිබූ ජයග්‍රහණය උදුරා ගැනීමට මධුශංක සමත් වූයේ අවසන් පන්දු වාරයේ පළමු පන්දු තුනේදි කඩුළු ත්‍රිත්වයක් වාර්තා කරමින්ය. සිම්බාබ්වේ ඉනිමේ තිස්වැනි පන්දුවාරය අවසන් වන විට පස්වැනි කඩුල්ල ලෙස වෙස්ලි මැඩිවේරේ දැවී යද්දි ලකුණු පුවරුව 161 ක් විය. එතැන් සිට හත්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ටෝනි මුනියොංගා හා එක්ව සිම්බාබ්වේ ඉනිමට ජීවය එන්නත් කිරීමට හෂන් රාෂා සමත් වූ අතර මධුශංකගේ කඩුළු ත්‍රිත්වයේ පළමු කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ පන්දු 87කට ලකුණු 92ක් ලබා සිටියදී ය. හයවැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 128 යි.

අවසන් පන්දුවාරයේ ඉලක්කය ලකුණු 10ක් වූ අතර මධුශංඛ ඉදිරියේ සිම්බාබ්වේ පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු දෙකක් පමණි.

ශ්‍රී ලංකා කඩුළු ත්‍රිත්ව ලාභින්

  • චමින්ද වාස් – කඩුළු ත්‍රිත්ව 02
  • ලසිත් මාලිංග – කඩුළු ත්‍රිත්ව 03
  • ෆර්විස් මහරුෆ්
  • තිසර පෙරේරා
  • වනිදු හසරංග
  • ෂෙහාන් මධුශංඛ
  • මහීෂ් තීක්ෂණ
  • ඩිල්ශාන් මධුශංඛ

* එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම කඩුළු ත්‍රිත්ව වාර්තා කළ කණ්ඩායම (කඩුළු ත්‍රිත්ව 11යි) – කඩුළු ත්‍රිත්ව ලැබූ ක්‍රීඩකයන් ගණන 08 යන වාර්තා දෙකම සතුවන්නේ ශ්‍රී ලංකාවටය.

තරගයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ නායක ෂෝන් විලියම්ස්ගේ ආරාධණයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක සහ නිශාන් මධුශ්ක පවර්ප්ලේ පන්දුවාරවලදි ඇද බැද තබා ගැනීමට රිචඩ් එන්ගරාවා සහ බ්ලෙසිං මුෂරබානි සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස මධුශ්ක පන්දු දොළහකට මුහුණ දී කිසිදු ලකුණක් නොලබා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ පන්දුවාර පහක් අවසානයෙදි සටහන් වූයේ ලකුණු 9කි.

ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් නමුත් තරමක මන්දගාමි ස්ථාවරයක් ලබා දීමට නිශ්ශංක හා එක් ව කුසල් මෙන්ඩිස් සමත් වූ අතර නිශ්ශංක තම එක්දින තරග දිවියේ 17 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 04 පිතිකරු ලෙස පවන් රත්නායක හෝ නුවනිදු ප්‍රනාන්දු එක් වනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු තබා සිටියද එම අවස්ථාව හිමි වූයේ කලකට පසු කණ්ඩායමට එක් වූ සධීර සමරවික්‍රමටය. සධීර පන්දු 40කින් ලකුණු 35ක් වාර්තා කළේය.

තරගයේ ශ්‍රී ලංකා මැද පෙළ අනපේක්ෂිත බිදවැටීමකට මුහුණ දුන් අතර ඉනිමේ හොදම සබදතාව වාර්තා වූයේ හයවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි කමිදු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අතරය. ඉනිමේ අවසන් පන්දුවේදි කමිදු, පන්දු 36කදි ලකුණු 57ක් ලබා සිටියදී දැවී යනවිට පන්දු 47කදි වාර්තා කළ ලකුණු 70ක් ලබා සිටි ජනිත් හා එක්ව හයවැනි කඩුල්ලට පන්දු 83කදි ලකුණු 137ක් එක් කිරීමට සමත්ව සිටියෝය.

තරගයේ වීරයා – ඩිල්ෂාන් මධුශංඛ

තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අගෝස්තු 31වැනි දා හරාරේ පිටියේදි පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here