සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට අද (17) නියෝග කර තිබෙනවා.
මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළ මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (17) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබුණු රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී-ෂර්ට් 12,000 ක් ලබා දීමට යොදවා, රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.


