නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් තමා සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව ඔක්තෝබර් මස 28 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අතර, එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මෙය මෝටර් රථ ආඥා පනත යටතේ පවතින නඩුවක් බවයි.
ඒ අනුව මෙම නඩුකරය විභාගය සඳහා අවසන් වතාවට ඔක්තෝබර් 28 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, 2022 මැයි 09 ‘කළු සඳුදා’ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කළ මැර කල්ලි මෙහෙයවූවෙකු ලෙස ද චෝදනා ලැබූවෙකි.


