හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාට ජනාධිපති කාර්යාලයෙන් ගෙවූ බව කියන වැටුප් මුදල්, හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරියකගේ පුතෙකුගේ ගිණුමට බැර වී ඇති බව මධ්‍යම විමර්ශන කාර්යාංශය ඊයේ (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික රජයේ මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ඔහුව ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ ගිණුමට අවස්ථා 4කදී රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දහහතර ලක්ෂයකට අධික මුදලක් බැරවී ඇති බවයි. අදාළ වැටුප් මුදල් සිය සොහොයුරියගේ පුතාගේ ගිණුමට බැරවී ඇති බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප්‍රකාශවලින් ද තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, එම ගිණුම් හිමිකරු ලබා දී ඇති ප්‍රකාශවල පරස්පරතා පවතින බව පොලීසිය පෙන්වා දුන්නේය. එක් ප්‍රකාශයකින් ඔහු පවසා ඇත්තේ අදාළ මුදලින් අඩක් පමණක් ලැබුණු බවයි. එහෙත් අනෙක් ප්‍රකාශයෙන් කිසිදු මුදලක් නොලැබුණු බව ඔහු පවසා ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අමතරව, විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරයා ලෙස මොහු යටතේ අධ්යක්ෂවරුන් 22ක් ඇතුළු 135 දෙනෙකු පමණ සේවය කර ඇති බවත්, අදාළ ව්‍යාපෘතිය හරහා රජයේ මුදල් භාවිත කරමින් දේශපාලන ප්‍රවර්ධන කටයුතු පමණක් සිදුකර ඇති බවත් විමර්ශනවලදී තහවුරු වී ඇත.
සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දුන්නේ, මෙම නඩුව ආරම්භයේදීම සැකකරුට එරෙහිව ගොඩනැගූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු වැටුප් දෙකක් ලබාගෙන ඇති බව වුවද, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් පවා ඔහු එලෙස වැටුප් දෙකක් ලබාගෙන නොමැති බව මේ වන විට තහවුරු වී ඇති බවයි.


